Saturday, September 19, 2015

ඉතාම පහසුයි

මෙය  ඔබේ සිත සැහැල්ලුවෙන් ඇති වෙලාවක කියවන්න. කිහිප වරක් කියවීමෙන් වඩාත් හොඳින් අවබෝධයක් ලැබෙනු ඇත. ඉන් පසුව එම කරුණු ගැන ඔබම සිතා බලන්න. කියවීමටත් වඩා එම කරුණු ගැන හොඳින් සිතා බලා ඔබ ඒ ගැන නිගමනයකට ඒම ඉතා වැදගත් වේ. මෙම ලිපිය පිටපත් කිරීමට, බෙදා හැරීමට, වෙනත් බ්ලොග් වල පලකිරීමට හෝ අන් පාඨකයන් අතට පත් කිරීමට හැකි ඕනෑම දෙයක් කිරීමට ඕනෑම අයකුට අයිතිය ඇත.


මේ දැන්ම ගතයුතු තීරණයක්


මිනිසෙකු ලෙස ඉපදී සිටින අපි විසින් කළයුතු කුමක් දැයි හෝ එසේ මිනිසෙකු ලෙස ඉපදී ඇත්තේ ඇයි දැයි ඔබට කවදා හෝ සිතී ඇත්ද? ඔබේ පිලිතුර ඔව් නම් එම කුතුහලය දනවන ප්‍රශ්ණයට පිලිතුරක් සොයා ගැනීමට පහත කරුණු ගැන සිතන්න.


1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත.


2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත.


3.  සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත.


4. බුදු දහම කිසියම් කාලයක් පැවතී නැතිවී ගොස්, නැවත බුදු වරයෙකුගේ පහලවීමක් ඇතිවන තෙක් හොඳ නරක කියාදෙන ආගම් පමණක් ලොවේ පවතී. ඔබ අනන්තවත් වාර ගණනක් එවන් කාල වල මනුෂ්‍ය ආත්ම ලබා තිබෙන්නට පිළිවන. ඔබ බුදු දහම ඇතිකාලයක ඉපදී ඇත.


5. බුදු දහම අද තිබුනත් ලෝකයේ බොහෝ දෙනෙක් ඉපදී ඇත්තේ බුදු දහම ඇසෙන මානයක නොවේ. ඒ අතින් ඔබ බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇත.


6. බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇතත් එම දහම් ඇසුරු කිරීමට, බණ ඇසීමට, ඒ ගැන කල්පනා කිරීමට අවස්ථාවක් නොලැබෙන අය සිටිය හැක. එම අවස්ථාව ඔබට ලැබී ඇත.


ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඉපදීමට ඔබ වාසනාවන්ත වී ඇතිබව ඔබට වැටහෙනු ඇත. ඇත්ත වශයෙන්ම එය වාසනාවක් නිසා සිදුවූ දෙයක් නොව ඔබ විසින්ම පසුගිය භව වල රැස් කරගන්නා ලද කුසල් සහ එම භව වලදී ඔබ විසින්ම පතනා ලද පරිදි ඔබ මෙම භවය ඉහත කරුණු සම්පූර්ණ වී ඉපදී ඇතැයි කීම වඩාත් නිවැරදිය. 

ඉහත කරුණු සියල්ලම සම්පූර්ණ වී ඔබ ඉපදී ඇත්තේ බුදු දහමට පමනක් සුවිශේශී වූ සත්‍යයක් සහ ඉගැන්වීමක් වන සසරින් පිටවන මාර්ගය ගැන සොයා ගැනීමට, ඉගෙනගැනීමට සහ එම මාර්ග ප්‍රගුණ කිරීමට බව වටහා නොගත්තොත් කරන්නේ ඔබ ලබා ඇති සුවිශේශී ඉපදීම නාස්තිකර දැමීමකි. ඔබ ඔබේ අතේ අද ඇති මුදල් නාස්තිකර දැමුවොත් ඔබට හෙටත් තවත් මුදල් ලැබෙනු ඇත. ඉහත කරුණු හයම සම්පූර්ණවූ මනුෂ්‍ය ආත්මයක් ඔබට නැවත ලැබෙන්නේ කවදාදැයි සිතා ගැනීමටවත් නොහැකි බව ඔබට


වැටහිය යුතුය.


බුදු දහමේත් අනිකුත් ආගම්වලත් ඇති වෙනස


හොඳ සහ නරක වෙන් කර උගන්වන ආගම් හා ඇදහීම් සෑම කාලයකම ලොවේ තිබේ. එම ආගම් අනුගමනය කළහොත් සංසාරය තුලම දේව සහ බඹ ලෝක වලට යා හැක. බෞද්ධ ධර්මයේත් සිල් රැකීම පිලිබඳව සහ සහ පවු කිරීමේ ආදීනව කියාදෙයි. ඒවා පමණක් අනුගමනය කළහොත් සිදු වන්නේද දිව්‍ය ලෝක බ්‍රහ්ම හෝ ලෝකවල ඉපදීමටයි. එහෙත් එම ලෝකවල ආයුෂ අවසන් වූ පසු පෙර කර්ම උඩ නැවත නැවතත් නිරයට වැටීමට සිදුවීමේ අවදානම එලෙසම පවතී.


නිරයට වැටීම සහමුලින්ම නැතිකරන සහ නැවත ඉපදීම වැඩිම වශයෙන් භව හතකට සීමා කරන සසරින් එතෙර වන ක්‍රමය හෝ මාර්ගය කියාදෙන එකම දහම වන බුදු දහම හමුවන්නේ බුද්යෝත්පාදක කාලයකදී පමණි. 


බොහෝ බෞද්ධයන් මෙන් ඔබත් සමහරවිට පින් පුරවමින් භවය ගෙවන අයකු විය හැක. ඔබ වටහා ගත යුතු කරුණ වන්නේ එක් අතකින් පින් යනු පවු වලට සමාන දෙයක් බවයි. පවු මෙන්ම පින් පලදීමටත් නැවත ඉපදීමට සිදුවේ. සිල් පද රකිමින් පින් පුරවමින් යන අය මීලඟ භවයේ දිව්‍ය ලෝක හයෙන් එකක ඉපදීමට ඇති ඉඩ ඉතා ඉහලය. මනුෂ්‍ය ආත්මයක ආයුෂ අවුරුදු 80-100 ක් පමණ වූවත් සමහර දිව්‍ය ලෝක වල ආයුෂ ඉතා දිගය. ධ්‍යාන ආදිය ප්‍රගුණ කරමින් සිටිනා අය  බ්‍රහ්ම ලෝක විසි එකෙන් එකක ඉපදීමට ඉඩ ඇත. එම ලෝකවල ආයුෂද ඉතා දිගය. එහි ඇති ගැටළුව වන්නේ එම ලෝක වල ඉපදී ඇති අයට එම කාල වලදී සසරින් එතෙර වන මාර්ගයට ඇතුලුවීමට කටයුතු කිරීමට නොහැකි වීමයි. වෙනත් අයුරකින් කිවහොත් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට හැකියාව ඇත්තේ මිනිස් ලොව ඉපදී ඇති අයට පමණි.


සසරින් එතෙර වන මාර්ගයට ඇතුලුවීමට හැක්කේ මනුෂ්‍ය ආත්මයකදී පමණක් බව දැනටමත් දන්නා හෝ වටහා ගන්නා ඔබ ඒ අනුව ක්‍රියා නොකොට නොකොට දෙව් ලොව හෝ බ්‍රහ්ම ලෝකවලට යාමට පින් පින් පුරවමින් ලැබී ඇති අවස්ථාව නාස්තිකර දමන්නේ ඇයි?. එමෙන්ම ඔබ ඉහල තල වලට යාමට පින් පුරවන්නෙක් නම් ඔබෙත් අන් (හොඳ නරක පමණක් කියාදෙන) ආගම් අදහන අයගේත් වැඩි වෙනසක් නැත.


දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදීමට උත්සාහ කිරීම අයුතු දෙයක්ද?



එම ලෝක වල ඉපදීමට පින්දම් පිරීම හෝ ධ්‍යාන වැඩීම කිසිසේත්ම අයුතු දෙයක් නොවේ. එසේ වුවත් අපි දෙව් ලොව හෝ බඹ ලොව යනවානම් යා යුත්තේ සෝවාන් මාර්ගයට ඇතුළුවී එයින් පසුව ඉපදීමට සිදුවන (වැඩිම වශයෙන්) ආත්ම හතෙන් එකක හෝ කිහිපයක මිස සංසාරයේ සිටිමින්ම ලබන ආත්ම වල නොවේ. සංසාරයේ සිටිමින්ම දෙව් ලොව හෝ බඹ ලොව යාමෙන් සිදුවන්නේ තවත් කෝටි ප්‍රකෝටි ආත්ම ගණනකින් සංසාරය දික් කර ගැනීමකි.



තවද සෝවාන් මාර්ගයට පිවිසීමෙන් පසුව නැවත කිසිදාවත් අපාගතවීමේ අවදානමක් නැත. බුදු රදුන් පවසා ඇති පරිදි නිරය කෙනෙකුගේ නිවස මෙනි. අපි කොහේ ගියත් නැවත ගෙදර ඒමට සිදුවේ. එසේම අපි ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවන්නේ නිවසේදීය. එමෙන්ම සංසාරයේදීද අපට වැඩිම කාලයක් නිරයේ ගෙවීමට සිදුවේ. සංසාරය දික් කර ගැනීමෙන් අති විශාල වාර ගණනක් නිරයේ, ප්‍රේත ලෝකවල, තිරිසන් ලෝක වලද ඉපදීමට ස්ථීර වශයෙන්ම සිදුවේ. එම හේතුවම මිනිස්කම ලැබූ මේ භවයේදීම සංසාරයෙන් පිටවීමට කටයුතු සලසා ගැනීමට හේතුවකි.



මේ භවයේ අවසන ඔබ දිව්‍ය ලෝකයකට හෝ බ්‍රහ්ම ලෝකයකට ගියහොත් දීර්ඝ කාලයක් ඒ තල වල ගත කර ගතකර නැවත මනුෂ්‍ය ආත්මයක් ලබනවිට එම ඉපදීම මුලින් සඳහන් කළ කරුණු (2- 6) සම්පූර්ණ වී ඉපදෙන බවට සහතිකයක් නැත. එමනිසා එම කරුණු සම්පූර්ණ කරමින් මනුස්ස ආත්මයක් මෙම භවයේ ඔබ ලබා ඇති එකම හේතුව සසරින් එතෙරවීමට අවශ්‍ය සෝවාන් මාර්ගයට ඇතුළුවීම බවට ඔබට තේරුම් නොගිගොත් එය මහත් අවාසනාවකි.


මෙම භවයේදීම සෝවාන් මාර්ගයට ඇතුළුවීම පසෙක තබා දෙව් ලොව හෝ බ්‍රහ්ම ලෝකවලට යාමට පින් පුරවන අය සිහියට ගත යුතු කරුණු මතක් කරගමු;


1. බුදු දහම පවතින කාලයකදී හැර සසරින් එතෙර වීමේ මාර්ගය සොයා ගත නොහැක.


2. දිව්‍ය ලෝක වලදී හෝ බ්‍රහ්ම ලෝක වලදී සෝවාන් මාර්ගයට ඇතුළුවිය නොහැක.


3. දිව්‍ය ලෝක වලදී හෝ බ්‍රහ්ම ලෝක වල සැප ගෙවා වසර ලක්ෂ ගණන් වූ යුෂ අවසන් වූ පසුව පෙර කර්ම මත නිරයේ වැටීමට හෝ තිරිසන් හෝ ප්‍රේත ආත්ම වල ඉපදීමට ඉඩ ඇත. එක භවයක් අවසන්වී තවත් භවයක උපත ලබද්දී එම උපදින භවය තීරණය වන්නේ චුති චිත්තය අනුවය. එසේ හෙයින් මීලඟ භවයේදී දෙව් ලොව උපත ලැබුවත් නැවතත් දහස් වාරයක් නිරයට වැටීමට සිදුවන කර්මයන් දැනටමත් පෙර සංසාරයේදී අප අතින් සිදුවී තිබෙන්නට පුළුවන.


4. එම ලෝකවල ආයුෂ වසර දස දහස් ගනන් බැවින් නැවත මනුස්ස භවයක් ලැබුවත් එසේ නැවත මිනිස් භවයක් ලබන කාලයක බුදු දහම නොපැවතියහොත් සසරින් එතෙර වීමට නොහැකිවනු ඇත.


වරක් බුදු රදුන් කඩියන් පේලියක් දෙස බලා එහි සිටින කඩියන් සියළු දෙනාම සංසාරයේදී සක්විති රජකම දරා ඇති බව ආනන්ද තෙරුන්ට පවසා ඇත. එසේ නම් අප සියළු දෙනාමත් සක්විති රජකම මෙන්ම කෝටි වාරයක් දෙව් ලොව සහ බඹ ලොව ඉපදී සිටින්නට ඇත. මේ භවයෙදීත් සිල් රකිමින් හොඳ ජීවිතයක් ගත කලහොත් නැවතත් දෙව් ලොව හා බඹ ලොව යාමට හැකිය.  අප අනන්ත වාරයක් කලින් ගිය දිහාවල් වලට යාමට මේ බවයේදීත් පින් පුරවින් උත්සාහ කරන්නේ කුමටද?


එම නිසා බුද්යෝත්පාදක කාලයක, මනුස්ස භවයක් ලබා ගැනීමට සහ බුදු බණ ඇසෙන රටක ඉපදීමට දුර්ලභ අවස්ථාවක් ලබා ගත් අපි කලයුත්තේ සසරින් එතෙර වීමට උත්සාහ කිරීමට ලැබුණු අවස්ථාව අපතේ නොහැරීමයි. එයට ප්‍රධානතම හේතුව මෙම අවස්ථාව මගහැරියොත් ඊලඟ අවස්ථාව ලැබෙන්නේ මොන කල්පයේ දැයි කිව නොහැකි බැවිනි. දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවල ඉපදීමට උත්සාහ කරන අතරේ සෝවාන් මාර්ගයට පිවිසීම අනිවාර්ය බව මෙයින් ඔබට පැහැදිළි විය යුතුය.



වන්දනාමාන


ඔබ බොහෝවිට පුරුද්දක් වශයෙන් පන්සල් යන, පහන් හඳුන්කූරු පත්තුකරන, මල් පූජා කරණ අයකු වන්නට පුළුවන. මේ දේවල් කිරීමෙන් බුදු රදුන් ඔහු වටහාගත් සත්‍ය දේශණා කිරීමෙන් අපෙන් අපේක්ෂා කළදේ සිදුවෙනවාදැයි සිතා බලන්න. උදාහරණයකට ඔබ යම් කිසි සොයා ගත නොහැකි අසනීපයකින් පෙලෙනවා යැයි සිතමු. එයට නියම ප්‍රතිකර්මය තේරුණු වෛද්‍යවරයෙකු බොහෝ දුක් කරදර විඳ සොයාගෙන ගොස් එය ලැබුණු පසුව තවත් කරදර විඳදරා ගනිමින් ඔබට ගැලපෙන ඖධය ඔබ අතටම ගෙනැවිත් දුන්නා යැයි සිතන්න. ඖධය සොයා ගැනීමට හා ගෙනවිත් දීමට ඔහු මහා වෙහෙසක් ගත්තත් ඔහු එය කලේ ඔබෙන් වැඳුම් පිදුම්, පුද සත්කාර ලබා ගැනීමට නොව ඖධය භාවිතා කර ඔබගේ ඇති ව්‍යාධිය සුවපත්කිරීමට පමණක්ම බව ඔබට වැටහෙනු ඇත.



බුදු රදුන් භව සිය ගණනක් මහත් දුක් කන්ඳරාවක් විඳිමින් බුද්ධත්වය ලබා ගත්තේ අපට දුක නැතිකරණ එනම් සසරින් එතෙර වන මාර්ගය සොයාගෙන අපට ගෙනවිත් දීමටයි. උන්වහන්සේ පාදා දුන් නිවන් මාර්ගයට ඇතුළුවී හැකි ඉක්මණින් සසරින් එතෙර වීම පසෙක දමා අපි කරන්නේ උන්වහන්සේගේ පිළිම වලට වන්ඳනාමාන කිරීම පමණක් නම් ඒ කරණා දෙයින් අපිටවත් උන්වහන්සේටවත් ඇතිවන සුගතියක් වේ යැයි ඔබ සිතනවාද? අපට නොදැන සිටි මාර්ගය අපට පහදා දුන් බුදු රදුන්ට කල හැකි ඉහළම සහ එකම උපහාරය නම් එතුමන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමයි. බොහෝ කරදර විඳ ඔබට සුවපත්වීමට ඖ
ධය ගෙනැවිත් දුන් වෛද්‍ය වරයාට කළ හැකි උපහාරය එම බෙහෙත පරිහරණය කර ඉක්මණින්ම සුවපත්වීමයි. 


ඔබට සෝවාන් මාර්ගයට පිවිසීමට ගාථා, ත්‍රිපිටක, සූත්‍ර ආදී කිසිවක් දැනගැනීමට හෝ පාඩම් කිරීමට කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත. තවද ලෝකයේ ඇති සියළුම බෞද්ධ විහාරස්ථාන , බුදු පිළිම සහ ස්ථූප වන්දනා කරගෙන සිටියත් සෝවාන් මාර්ගයට ඇතුළුවී නැත්තම් ඒවායින් පළක් නැති බව තේරුම් යා යුතුය.  ඔබ සසරින් එතෙර වීමට අරමුණු කරගනිමින් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම සහ අන් අයත් එම මාර්ගයට ඇද ගැනීමට උත්සාහ කිරීම අදම පටන්ගන්න.



එසේම බුදු රදුන් යනු ඒ උතුම් මාර්ගය පහදා දුන් උතුමකු මිස මැජික් කරුවකු නොවේ. විභාග සමත් වීමට, මැතිවරණ දිනීමට, ව්‍යාපාර දියුණු කිරීමට, වත් පොහොසත් කම් ලබා ගැනීමට උන්වහන්සේගේ පිළිම ලඟ වැටී කන්නලව් කිරීමෙන් ප්‍රයෝජනයක් ඇතැයි සිතනවාද? බුදු රදුන් දේශණා කලේ ලෞකික සැප සම්පත් අත් හැරිය යුතු මාර්ගයක් මිස ඒවා අත්පත් කරගැනීමේ මාර්ගයක් නොවන බව වටහා ගැණීමට අප  ප්‍රඥාවන්ත වියයුතුය. ඔබ බෞද්ධයෙක්නම් හෝ බෞද්ධ දර්ශණය පිළිගන්නා අයකුනම් ඔබගේ ලෞකික සු
සිද්ධිය සඳහා කළයුතු දේවල් කරණ අතරම බුදු රදුන් පහදා දුන් මාර්ගයේ ගමන් කිරීමට දැන්ම අධිශ්ඨාන කරගන්න. ලෞකික දේවල් වලින් තාවකාලික දුක අඩුකිරීම හෝ සතුට ලබා ගැනීමට වඩා එතුමන් පෙන්වූ මාර්ගයේ අවසන ඇත්තේ සදාකාළිකව දුක නැතිකිරීම බව තේරුම් ගන්න. ඔබ සෝවාන් මාර්ගයට නොපිවිසේනම් හැමදා උදේ හවස ජප කරනා නමස්කාරයේ ඇති "මම බුදුන් සරණ යමි" හා “මම දහම් සරණ යමි” යන පොරොන්දු දෙක ඔබ අතින් කඩවන බව මතක තබාගන්න.



සසරින් එතෙර වීමට සිතා බැලිය යුත්තේ කවදාද?


අපි සියලුදෙනාටම විවිධ වගකීම් ඇත. දරුවන්ගේ කටයුතු, රාජකාරි කටයුතු, නිවසේ වගකීම්, ණය තුරුස්, මිතුරන් ආශ්‍ර‍ය කිරීම, බ්ලොග් එක අප්ඩේට් කිරීම යන දේවල් අප හැමෝම කල යුතුය. එම වගකීම් අඩුවුන දවසක සෝවාන් මාර්ගය ගැන සිටීමට හැකියාව ඇත. එසේ නමුත් අප කෙතරම් කලක් මෙම භවයේ රැඳී සිටී දැයි අපට කිව නොහැකිය. හදිසි පපුවේ අමාරු, වාහන වල හැපීම, විදුලි සැර වැදීම, ඩෙංගු උණ, මිනී මැරීම් ආදී බලපොරොත්තු නොවූ හේතු නිසා අද සවස හෝ හෙට අපට මෙම භවයෙන් පිටවීමට සිදුවිය හැක. එවන් මරණයකට මුහුණ දීමට අපගේ පෙර කර්ම අනුව සිදුවේද නැත්ද යන්න බලා ගැනීමට අපට ක්‍රමයක් නැත. මරණයට පත් නොවුනත් අබ්බගාතයෙකු හෝ සිහිය නැති පුද්ගලයෙකුගේ තත්ත්වයට වැටුණොත් සසරින් පිටවීමට කලයුතු සුළු දේ කරගත නොහැකි උවහොත් අපි තව කොතරම් කලක් සසරේ දුක් විඳීමට සිදුවිය හැකිද?


ඔබ තරුණ වයසේ පසුවන අයෙක්නම් මේ වයසේදී විනෝද වී පසුව සසරින් එතෙරවීම සිතා බැලිය හැකියැයි සිතිය හැක. අප මේ ලබා ඇති මනුෂ්‍ය ආත්මය අවසන් වන දිනය ගැන ඔබට දැනීමක් නැත. අද රෑ හෝ හෙට යම්කිසි හේතුවක් නිසා ඔබ මිය ගියහොත් ඔබ විසින් මේ අවස්ථාව නැති කරගන්නා බව තේරුම් ගන්න. එසේ වී ඔබ නිරයට හෝ දිව්‍ය ලෝකයට ගියහොත් ඔබට නැවත මනුෂ්‍ය ආත්මයක්  බුද්‍යෝත්පාදක කාළයකදී ලැබෙන්නේ තව භව කෝටි ප්‍රකෝටි ගණනකින් පසුව වීමට ඉඩ ඇත. 

ඔබ වයසින් වැඩිමහළු පුද්ගලයෙක්නම් පසුගිය කාලයේ ඔබ සසරින් පිටවීමට අවශ්‍ය කුසලතා පිරීමට යෙදවූවේ නැත්නම් ඒ ගැන පසු තැවීමෙන් කාලය නාස්ති නොකරන්න. ඔබගේ ප්‍රඥා ශක්තිය අණුව ඔබට ඉතාමත් සුළු කළකින් එම මාර්ගයට පිවිසිය හැකි වන්නට පුළුවන. එමෙන්ම ඔබ ඒ සඳහා දරණ උත්සාහය අණුව එම මාර්ගයේ බොහෝ දුර ගෙවා දැමිය හැකිය. 
එම නිසා ඔබ මේ දැන්ම කලයුත්තේ මෙම භවයේදීම සෝවාන් මාර්ගයට අවතීර්ණ වන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමත් ඒ සඳහා කලයුතු දේවල් අදම කිරීමට පටන් ගැනීමත්ය.


සෝවාන් මාර්ගයට පිවිසීම අපහසු දෙයක්ද?


නිවන් දැකීමට රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කල යුතුය. අපි අද සිටින රාගය, මෝහය, ද්වේශය බහුල තත්ත්වයේ සිට සහමුලින්ම දුරු කිරීම ඉතාම අපහසු දෙයක් ලෙස පෙනීම ස්වභාවිකය. එසේ දැනීමට ප්‍රධාන හේතුව නම් සෝවාන් මාර්ගයට ඇතුලුවීමට අවශ්‍ය වන්නේ රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කිරීම නොව ඒවා දුරු කිරීමේ මගට වැටීම පමණක් බව නොතේරීමයි. රහත්වීමට කලින් ඇති අනාගාමී තත්වයේ සිටින අයටත් එක්තරා ප්‍රමාණයකට තණ්හාව, රාගය, ද්වේශය ඇත. ඒවා තිබූ පමණින් සෝවාන් මාර්ගයට ඇතුළු වීමට කිසිම බාධාවක් නැති බවට ඇති ඉහළම ශාක්ෂිය එයයි. 


ඔබ මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ලංකාව නියෝජයනය කිරීමට කැමති යැයි උපකල්පනය කරන්න. දැනට මීටර් 100 දිවීමේ ලෝක වාර්ථාව දරන්නේ උසේන් බෝල්ට් විසිනි. එක මීටර් 100 තත්පර 9.58 කින් නිම කිරීමයි. ඔබට මීටර් 100ක් දිවීමට තත්පර 15 ක් ගතවනවා යයි සිතන්න. ඔබ දැන් කරන්නේ ඔබට කවදාවත් ලෝක වාර්ථාව ගැනීමට නොහැකි යයි සිතමින් නොදුවා සිටීමයි. ඔබ කළ යුත්තේ පුහුණු වෙමින් ටිකෙන් ටික තත්පර 15 තත්පර 9.58 වෙතට අඩුකර ගැනීමයි. එමෙන්ම නිවන් අවබෝධ කරගැනීමට ද්වේශය, මෝහය, හා රාගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඔබ කලයුත්තේ ටිකෙන් ටික එය අඩුකර ගැනීමට අවශ්‍ය පුහුණු වීම කිරීමයි.


ඔබ අවුරුදු 30ක් පුහුණු වුවත් එම වාර්ථාව සම කිරීමට නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් ඔබට එම වාර්ථාව සම කිරීමට අවුරුදු වැඩිම වශයෙන් අවුරුදු 7 කින් කළ හැකි යැයි සහතිකයක් තිබේනම් ඔබ එය උත්සාහ කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත. නිවන් දැකීමට අධිශ්ඨාන කරගෙන ද්වේශය, මෝහය, රාගය අඩුකරගැනීමට උත්සාහ කිරීමට ඔබ සූදානම් නම් එම මාර්ගය වන සෝවාන් මාර්ගයට ඇතුළුවූ අවස්ථාවේ සිට වැඩිම වශයෙන් තව ආත්ම හතකදී රහත් භාවයට පත්වන බව බුදු රදුන් කියා ඇති බව ඔබ දන්නවාද?



සෝවාන් මාර්ගයට ඇතුළුවුවහොත් රහත් භාවයට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවන බව නොසිතන පුද්ගලයා සැමවිටම සිතන්නේ අද සිටින තත්ත්වයේ සිට ද්වේශය, මෝහය, රාගය සහමුලින්ම නැතිකර ගැනීමට ඇති අපහසුතාවයයි. උදාහරණයට යමකුට කොලඹ සිට ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය නම් ඔහු එම දුර තරණය කිරීමට බෝට්ටුවක්, හබල්, මාලිමා යන්ත්‍රයක්, සිතියම් කියවීමේ දැනීම, සුලි සුලං කුණාටු ආදිය ගැන සිතනවා වැනිය. පිටරට යාම ගැන ඉතා සුළු දැනීමක් ඇති අය පවා ලන්ඩන් නුවරට යාමට අවශ්‍ය වන්නේ වීසා ලබා ගැනීමත්, ගුවන් ටිකට් පතක් ලබාගෙන කටුනායක ගුවන් තොටුපොලට යාමත් එහිදී නියමිත ගුවන් යානයට ගොඩවීමත් බව දනිති. නිවන් දැකීමට ද්වේශය, රාගය හා මෝහය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගතයුතු වූවත්, සෝවාන් මාර්ගයට අවතීර්ණවීමට ඔබ කලයුත්තේ එම උත්සාහය පටන් ගැනීම පම
ක්ම වේ. ලන්ඩන් යාමට අවශ්‍ය පුද්ගලයා විස හා ටිකට් පතක් ගෙන ගුවන් තොටුපලට යනසේ ඔබ කල යුත්තේ  (සම්පූර්ණයෙන් නැතිකර ගැනීමේ අරමුණින්) එම දේවල් අඩු කර ගැනීමට පටන් ගැනීමයි.



සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා මියයාමට මොහොතකට හෝ පෙර සෝවාන් ඵලයට පත්වනු ඇත. එම පුද්ගලයා ඉන්පසු කිසිම දිනක නිරයට නොවැටේ. එම පුද්ගලයා නැවත උපදින්නේ වැඩිම වශයෙන් භවයන් හතකි. එම හතේදී නිර්වා
ය අවබෝධ කරගන්නා බව ඒකාන්තය.



මාර්ගයට පිවිසිය හැක්කේ සිල් රැක්කොත් පමණද?



මස් මාංශ අනුභව කරන, මත් පැන් පානය කරන, බොරු කියවෙන, කාමයේ වරදවා හැසිරෙන බොහෝ අය සිතන්නේ ඔවුන් අතින් සිල් කැඩෙන බැවින් ඒවා හදා ගන්නා තුරු සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බවයි. ඊට වඩා එහි අනිත් පැත්ත ඇත්ත විය හැක. එනම් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් සිතේ ද්වේශය ආදිය අඩුවී කරුණාව පහලවීමෙන් ඉබේම මස් මාංශ වලට ඇති කෑදරකම නැතිවිය හැක. එනම් සිල් රැකීමෙන් සෝවාන් මාර්ගයට ඉබේ නොවැටුනත් සෝවාන් මාර්ගයේ ගමන් කිරීමෙන් ඉබේම සිල් රැකෙන බව පැහැදිලි විය යුතුය.



අපි සිල් රකින එහෙත් සෝවාන් මාර්ගයට පිවිසීමට උත්සාහ නොගන්නා අයකු උදාහරණයට ගමු. ඔහු පා
ණාතිපාතා සිල් පදය දිවි හිමියෙන් සුරකී. යම් කිසිවෙකු ඔහුට බනින්නට හෝ අපහාස කරන්නට පටන් ගත්තා යයි සිතමු. ඔහුට අනික් පුද්ගලයා සමග දැඩි ද්වේශයක් ඇතිවේ. ඔහු අතට පිහියක් හෝ පිස්තෝලයක් වැනි දෙයක් ලැබුනොත් අර පුද්ගලයාට ඉන් හානියක් කිරීමට හැකි තරම් ද්වේශයක් සහ එසේ කිරීමට ඉතා ආසන්නයට පැමිණියත් තමන් පාණාතිපාතා සිල්පදය සුරකින බැවින් ඔහුගේ ප්‍රාණයට හානියක් කිරීමෙන් වැලකේ. එසේ වුවත් ඔහු ද්වේශය ඇතිවීම නිසා අකුසල් එකතු කරගනී. සෝවාන් මාර්ගයේ සිටින අයකු හෝ සෝවාන් මාර්ගයට ඇතුළුවීමට මෛත්‍රී භාවනාව වඩවන අයකුට යම් කිසිවෙකු එසේ පරිභව කලහොත් ඔහුට ද්වේශයක් ඇති නොවන බැවින් ප්‍රාණ ඝාතයක් සිදුවීමට කිසිම ඉඩක් නැත. සිල් රැකීමෙන් පමනක් නිවන් දැකීමට නොහැකි බවත් සෝවාන් මාර්ගයට ඇතුල්වීමට උත්සුකවීමෙන් ඉබේම සිල් රැකෙන බවත් මෙම උදාහරණයෙන් පැහැදිලි විය යුතුය.


සසරේ සිටීමට පින් සහ සසරින් පිටවීමට කුසල්


අප බොහෝ දෙනෙක් පින් සහ කුසල් යන වචන දෙක එකම තේරුමක් ඇති වචන දෙකක් ලෙස පාවිච්චි කරමු. වඩාත් පහසු ක්‍රමය නම් පින් යනු සසරේ සිටිමින් හොඳ උප්පත්තියක්, ලෞකික සැප සම්පත් ලබා ගැනීමට ප්‍රයෝජනයක් වන දෙයක් ලෙසත් කුසල් යනු සසරින් එතෙර වීමට පිහිටවන දෙයක් ලෙසත් තේරුම් ගැනීමයි. සසරේ සිටීමේදී අපට ආහාර, ඇඳුම් පැලදුම්, නිවාස, ආරක්ශාව වැනි විවිධ දේවල් අවශ්‍යය. අපට තිබෙන දෑ දීමෙන් මේවා මේ භවයේදීත් අනාගත භව වලදීත් ඒවා වැඩියෙන් ලැබේ. එමෙන්ම අපි අන් අයගේ දේවල් සොරකම් කිරීමෙන් හෝ නොදී සිටීමෙන් මේ භවයේදීත් අනාගත භව වලදීත් අප සතු වූ දේවල් නැතිවී යාමටත් අපට අවශ්‍ය දේවල් නොලැබී සිටීමත් සිදුවේ.


කුසල් යන්න කුසලතා හැටිය සිතීම වඩාත්  ප්‍රායෝගික වේ. කුසලතා යන වචනය යොදාගන්නේ යමක් කිරීමේ හැකියාව යන්න විග්‍රහ කිරීමටයි. කලින් බයිසිකලයක් පැදීමට හෝ පිහිනීමට හෝ ක්‍රීඩාවක් කිරීමට හැකියාවක් නොතිබුණ අයකු එම දෙයක් කිරීමට පුහුණුවී එම හැකියාව අත්කර ගැනීම කුසලතාවක් අත්කර ගැනීමකි. රහත් බව ලැබීමට ද්වේශය, රාගය, මෝහය සහමුලින්ම දුරුකරගත යුතු බව අපි දනිමු. ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩුකරගැනීමට පුහුණුවීම කුසලතා අත් පත් කර ගැනීමකි. උදාහරණයකට ඔබට මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් ද්වේශය අඩු කරගැනීමේ හැකියාව හෝ කුසලතාව අත් කර ගත හැක.



එබැවින් අප තුල ඇති රාග හා ද්වේශ හැඟීම් අඩුකරගැනීමට ඒ ගැන ඉගෙනීම, උගත් දෙ ගැන ඒ මේ අතට විග්‍රහ කරමින් සිතීම, අඩු කරගැනීමේ අභ්‍යාසවල යෙදෙන භාවනාමය කටයුතු සියල්ල කුසල් අත් කර ගැනීම් ගනයට වැටේ. 


එමෙන්ම ඔබ යමකුට ද්වේශ කරන්නේනම් එය අකුසල් උපදවන අතර, අන් අයට මෛත්‍රී කිරීම කුසල් උපදවයි. ඔබ අත් හැරීම ප්‍රගුණ කරන්නේනම් එය කුසල් උපදවන අතර, ලෞකික දේවල් වලට වැඩියෙන් බැඳීම අකුසල් උපදවයි. මේ ආකාරයේ කුසල් වැඩීම සෝවාන් මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කරන අයත් එම මාර්ගයේ ගමන් කරන අයත් කරණ ප්‍රධානතම කටයුත්තකි. ඔවුන්ටත් සසරේ ඉතිරි කාලය පහසුවෙන් ගත කිරීමට පින් කිරීම ඔවුන් අතින් සිදුවන අතරම, සසරින් එතෙරවීමේ පරමාර්ථය ශාක්ෂාත් කරගැනීමට කුසල් වැඩීම සිදු කරයි.


වෛර කිරීම තවත් ඇසකින්


සෝවාන් මාර්ගයට අවතීර්ණය නොවුනු අය හට ඔවුනට අනදර කරන අය පිලිබඳව  ඔවුන්ගේ සිත් තුල වෛර සහගත හැඟීම් ඇතිවීම ස්වභාවිකය. එය යටපත් කර සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට වෛරය අඩුකරගැනීමට මේ ගැන සිතා බලන්න. උදාහරණයකට පිරිමියෙකු අතින් දූෂණය කාන්තාවක් ගනිමු. ඇයගේ ජීවිතය කාලකණ්නි කිරීම නිසා ඇයට දූෂකයා පිලිබඳව ඇතිවන්නේ දැඩි වෛරයකි. බුදු දහම අනුව අපි හේතු ඵල දහම ගැන අවබෝධයක් ලබා ඇත්තෙමු. ඒ අනුව මෙම භවයේ අපි මුහුණ දෙන සියළු දේ සිදුවන්නේ අප විසින් පෙර කරන ලද කර්ම අනුවය. ඒ අනුව එම කාන්තාව දූෂණය වූවේ ඇය විසින් පෙර ආත්මයක කරණ ලද කර්මයක් නිසාය. එවිට දූෂකයා කර ඇත්තේ ඇයට ඇය විසින්ම කරන ලද කර්මයක් ගෙවා දැමීමට වාහකයෙකු වීමයි. එම දූෂකයා ඔහු විසින් කරන ලද පාප කර්මයට මෙම භවයේදීම හෝ වෙනත් භවයකදී දඬුවම් විඳින බව හේතු ඵල දහම අනුව ස්ථීරය. එහෙත් මගේ කර්මය ගෙවා දැමීමට ඔහු දායක වූවත් ඔහුගේ කර්මය ගෙවීමට මා දායක වීම මහා අනුවණ කමකි. එසේ කළොත් වන්නේ එක කර්මයක් ගෙවා තවත් පාප කර්මයක් එකතු කර ගැනීම බව වටහා ගත යුතුය. එසේ හෙයින් දූෂකයාට පරිභව කිරීම. පහරදීම, දේපල විනාශ කිරීම, එල්ලා මරණ ලෙස ඉල්ලීම සිතා ගත නොහැකි තරම් මෝඩ කමකි. බොහෝවිට එම කාන්තාව ඇයට පළදුන්නේ ඇය විසින්ම කරන ලද කර්මයක් බව අමතක කොට දූෂකයාට වෛර කිරීමට පෙලඹේ. එයින් සිදුවන්නේ කලින් කරන ලද කර්මයක් ගෙවා ඒ වෙනුවට අකුසල් එකතු කර ගැනීමය. මෙම වලේ නොවැටී අපිට අනදර කරන ලද සියල්ලන්ම කර ඇත්තේ අපි විසින්ම සිදුකල කර්ම ගෙවා දැනීමට අපිට 'උදව්' කිරීමක් යැයි අපි සිතන්නට උත්සාහ කලහොත් ඔවුනට වෛර කිරීමේ අකුසලයෙන් ගැලවීමට අපිට හැකිවේ. ද්වේශය නැතිවීම හෝ අඩුවීම අපව සසරින් එගොඩ කරවීමට මහත්සේ උපකාරී වන දෙයකි.


ඇලීම


අපි ඇලෙන දේවල් ප්‍රධාන වශයෙන් දෙකකි. පුද්ගලයින්ට ඇතිවන ඇලීම සහ වස්තූන්ට ඇතිවන ඇලීමයි. අපි අපේ දරුවන්ට සහ දෙමව්පියන්ට බොහෝවිට ඇලී සිටිමු. පොඩ්ඩක් මේ ගැන සිතන්න. මෙම භවයට පෙර සංසාරයේ කීප විටක්ම අපිට දරුවන් සහ දෙමව්පියන් සිට ඇත. අප ගතකර ඇති භවයන් ගනන අනුව එම දරුවන් සහ දෙමව්පියන් සංඛයාව ගනන් කර ගත නොහැකි ප්‍රමාණයක් වේ. අඩුම වශයෙන් අපට අන්තිම මනුෂ්‍ය භවයේ සිටි දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ නම්වත් මතක නැත. මේ භවයේදීත් ඔබට ඔවුන් ගැන ඇති බැඳීම හා දැනීම පවතින්නේ ඔබ ජීවත්ව සිටින තෙක් පමණි. මෙසේ අපි භව කෝටි ගණනක් පසුකර ඇත්තෙමු. මෙම බැඳීමේ ඇත්ත තත්ත්වය අවබෝධකරගෙන එම ඇලීම් අඩුකර ගෙන සසරින් අප ඉවත්ව නොගියොත් මේ අකාරයටම එක් භවයක් පමණක් දන්නා දරුවන් දෙමව්පියන් නිසා සසරේ අපි සැමදාම සැරිසරණු ඇත. අප විසින් කළ යුතු යුතුකම් ඉටුකල යුතු මුත් ඔවුනුත් අපි මෙන්ම තනිවම සංසාරයේ සැරිසරන පිරිසක් පමණක්ම බව තේරුම් ගතයුතුය. ඔවුන්ටත් සංසාරයෙන් ඉක්මනින්ම පිටවීමට හැකි සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට මග පෙන්වීම පමණක් අපිට කළ හැක. එසේ නැතිව ඔවුන් නිසා අපි සංසාරයේ සිරවීම කිසිම තේරුමක් නැති දෙයක් වේ. එසේම අපිට කොතරම් අවශ්‍ය වුවත් තව කෙනෙකු සංසාරයෙන් එතෙර කරවිය නොහැක. ඒ ගැන මඟ පෙන්වීමක් පමණක් කළ හැක.එම මාර්ගයේ ගමන් කිරීමට ඔවුන් විසින්ම අවබෝධයකින් කිරීමෙන් පමණක් ඔවුන්ට එතෙර විය හැකිවනු ඇත.


තණ්හාව


තවත් අප බොහෝවිට ඇලෙන දෙයක් වන්නේ මිල මුදල් සහ ඉඩකඩම්ය. මුදල් යනු  කොල කැබැල්ලකි. එය බැංකුවේ දමා ඇත්නම් අපිට ලැබෙන මාසික ගිණුම් ප්‍රකාශණයත් කොල කැබැල්ලකි. එහි ඇති 'වටිනාකම' අනුව අපි ධනවත් යැයි අපිට සිතේ. මෙම මුදල් කලින් වෙන කෙනෙකුගේය. තාවකාලිකව එය අපේ අතට පත්වී ඇත. අපි අද මිය ගියහොත් අපට ඒවායේ කිසිදු වටිනාකමක් නැත.  ඒවා වටිනාකමක් ඇති දෙවල් වලට පරිවර්ථනය කල නොගතහොත් ඔබ මිය ගිය විට ඒවා අපතේ යයි. උදාහරණයකට අපි හෙට ජපානයට යන්නේ නම් ලංකාවේ රුපියල් එහි ගෙනයාමෙන් පළක් නැත. අපි යාමට පෙර එම රටේ පරිහරණය කරන මුදල් වර්ගය වන යෙන් වලට රුපියල් මාරු කරගෙන ගියොත් පමණක් එම යෙන් ජපානයේදී විවිධ දේ ගැනීම හෝ කෑම බීම සඳහා පාවිච්චි කල හැක. මෙම භවයෙන් වෙන්වී යාමත් ජපානයට යනවා වැනිය. අපේ අනෙක් භවයේදී වියදම් කිරීමට හැකි වන සේ මාරුකරගෙන නොගියොත් අපිට අද ඇති රුපියල් වලින් අපට වන සෙතක් නැත.


අපිට ඇති මිල මුදල් මේ භවයෙන් පසුව ප්‍රයෝජනවත්වීමට ක්‍රම දෙකකට මාරුකර ගත හැක. එකක් නම් සංසාරයේදී ප්‍රයෝජනවත්වත් වන පින් ලෙසය. නැති බැරි අයගේ යහපත සහ බඩගින්න නිමීම සඳහා අපි සතු දේවල් දෙනවිට පින් අයිතිවේ. එම පින් අපිත් සමග මරණින් පසුද පැමිනෙයි. අනෙක් ක්‍රමය නම් කුසල් උපදවා ගැනීමයි. එනම් අතහැරීමේ පුරුද්ද (කුසලතාවය) වැඩවීමයි. අත්හැරීමේ පුරුද්ද ඇතිකරගැනීමට ක යුත්තේ තමාට ඉතා කැමතිම දේ අනිකකුට දීමයි. උදාහරණයකට අප සතුව ඇත්තේ රුපියල් දාහක් පමණක් නම් එයින් රුපියල් දහයක් යමෙකුට දීමෙන් අත්හැරීම පුරුදු නොවේ. එයින් වැඩි කොටස අනිකකුට දෙන්නේ නම් එය අත හැරීමකි. තමන් කැමති නැති කමිසයක් හෝ සාරියක් යමකුට දීමට ඉතා පහසුය. අනික් අතට තමා වඩාත්ම කැමති කමිසය හෝ සාරිය වෙන කෙනෙකුට දීම අත් හැරීමේ පුරුද්ද වැඩවීමට හොඳය. කමිසය හෝ සාරිය මෙන්ම තමා කැමතිම කෑමක්, කැමතිම වාහනයක්, ඉඩමක්, හෝ ඕනෑම දෙයක් තමා පරිභෝජනය නොකර අන් අයකුට දීමෙන් අත්හැරීම පුරුදුවේ. එයින් සසරින් එතෙරවීම ඉක්මන් හා පහසුවේ.



මෙහි අන් කෙලවර වන්නේ වස්තූන්ට තදින් බැඳීමයි. අපිට ඉතා කැමති ඉඩමක් හෝ ගෙයක් තිබෙනවා යැයි සිතමු. උජාරුවෙන් මගේ යැයි කියාගන්නා එම ඉඩම මීට අවුරුදු තුන්සීයකට පම
 පෙර වෙන කෙනෙකු මගේ යැයි කියන්නට ඇත. තව අවුරුදු තුනකින් හෝ තුන්සීයකින් තවත් අයකු ඔහුගේ යැයි කියන්නට ඉඩ ඇත. මේ ඉඩම මගේ යැයි සිතමින් ගැන දිවා රෑ ඒ ගැනම සිතමින් මිය ගියහොත් එම ඉඩමේම නයෙක් වී ඉපදිය හැක. එසේ වන්නේ  මනුෂ්‍යයෙකු ලෙස ඉපදුනොත් ඔබ උපදින්නේ වෙන පවුලක බැවින් ඔබේ දරුවන් නොදන්නා අයකුට ඉඩම පරිහරණයට නොදෙන බැවිනි. ලෝකය පටන් ගත්දා සිට අවසන් වන දා තෙක් කිසිම ඉඩමක් එක් අයකුට අයිතිවී තිබී නැති බව ඔබට වැටහේ. එය විවිධ අය අතට කාලයෙන් කාලයට මාරුවී ගොස් අවසානයේ නැතිවී යයි. ලෝකය පවතින කාලය සහ පරම්පරාවකට හෝ පුද්ගලයෙකුට ඉඩමක අයිතිය පවතින කාලය සංසන්දනය කලහොත් එය ඉතාමත් කුඩා කාලයකි. එසේ තාවකාලිකව පවතින දේකට බැඳෙමින් සසරින් එතෙරෙවීමට ලැබුණු මේ මහඟු මිනිස් ජීවිතය නාස්තිකර ගන්නේ කුමටද? ජීවත් වීමට අවශ්‍ය කරන දේපල පමනක් තබා ගෙන අනික්වා දරුවන්ට හෝ නැති බැරි අයට ඉක්මනින්ම පවරාදීම ඔබ ඔබටම කරගන්නා මහඟු මෙහෙයකි. පවරා දුන්නත් නොදුන්නත් ඒවාට ඇති බැඳීම අඩුකරගැනීම අනිවාර්‍යයෙන් කළ යුතුය.



අපි බොහෝ විට අලුත් වාහන වලට ඇලුම් කරමු. අපි එසේ ඇලුම් කරන්නේ මොනවාට දැයි මොහොතකට සිතමු. උදාහරණයකට නවීනතම බී.එම්.ඩබ්ලිව් කාර් රථයක් ගැන සිතන්න. එහි ඇති බී.එම්.ඩබ්ලිව් බැජ් එක ගලවා පසෙක  තබා, වීදුරු ගලවා තව ගොඩක් ගසා, තහඩු ගලවා තව ගොඩක් ගසා, ටයර් වැනි රබර් කොටස් ගලවා තවත් ගොඩක් ගැසුවොත් ඔබ දැන් මේ ගොඩවල් එකකට හෝ සියල්ලටම ආසාවක් තිබේද? බොහෝවිට ලැබෙන පිළිතුර නැත යන්නයි. එසේනම් ඔබගේ කිසිම කැමැත්තක් නැති මෙම කුණු ගොඩවල් ටික එකිනෙකට ඇමුණූ පසු එයට බැඳෙන්නේ ඇයි. අපි හිත බැඳෙන ඕනෑම දෙයක් කුඩා කොටස් වලට කඩා බැලුවොත් හැම විටම එහි ඇත්තේ කිසි බැඳීමක් ඇතිනොවන බොහෝ විට ජුගුප්සාජනක දේවල් කිහිපයකි. එම දේවල් එකිනෙක උඩ අතුරා ඇතිවිට සිතින් බැඳෙමින් සසරින් එතෙරවීම පමා කර ගැනීම මෝඩ කමක් බව තේරුම් ගන්න.


රාගය


අපි ජීවිතයේ ඇලෙන තවත් දෙයක් වන්නේ රාගයයි. කාන්තාවකට බැඳෙන පුරුයෙකු හෝ පුරුයෙකුට බැඳෙන කාන්තාවක් ගතහොත්, ඔවුන් සිතන්නේ ඔවුන් අනික් කෙනාට සිතින් බැඳී ඇතයි කියාය. ඇත්තටම සිදුවන්නේ අපේ ඇස සහ රූපය යන දෙකට චක්කු විඥ්ඥානය එකතුවීමෙන් සපර්ශයක් ඇතිවීමත් එසේ ස්පර්ශය ඇතිවූ සැනින් රූපය හඳුනා ගැනීමත්, එම රූපය නිසා ඇතිවන සන්තෝසය හෝ දුක, සහ එම නිසා ඇතිවන බැඳීම් හෝ ගැටීම් ඇතිවීමත්ය.


ප්‍රිය මනාප අයකුගේ රූපය දුටුවිට එම නිසා අභ්‍යන්තරයේ සිදුවන එම හැඟීමට ඇතිවන කැමැත්ත අපේ සිත බාහිරව දකින රූපයකට කැමති උනා යැයි වරදවා සිතයි. ඇස්වසාගෙන සිටින විට හෝ එම බාහිර පුද්ගලයා ඇස් ඉදිරිපිට නැති විටදීත් ඔහුගේ හෝ ඇයගේ රූපය සිතින් මවාගෙන එම හැඟීමම ඇතිකර ගත හැකිය. එය බැඳීම ඇතිවී ඇත්තේ බාහිරව පවතින දෙයකට නොව අභ්‍යන්තරයේ  ඇතිවුන හැඟීමකට බවට ඇති හොඳම සාක්ෂියයි. තවත් විටක අපි අයකුගේ මුහුණේ ලස්සනට හෝ අඟ පසඟ වල හැඩයට රාගය ඇතිවේ. මුහුණ ගතහොත් අපට ඇත්තේ එකම ආකාරයේ හිස්කබලකි. තාවකාලිකව පියකරු පැහැයක් ගත් සමකින් සහ තාවකාලිකව මනා පැහැයක් ගත් කෙස් වලින් එය සරසා ඇතිවිට එය
ප්‍රියමනාප රූපයයක් ලෙස අපි සිතමු. එලියෙන් ඇති හම ඉතා කුඩා කාලයකදී රැලි වැටී ගොස් මියගිය පසු දියවී යයි. කෙස් සුදුවී දුර්වර්ණ වී කලකදී වැටී යයි. එසේ ඇති මුහුණකටත් එම ආකර්ශණය ඇතිවනවාද?


හිස් කබල පමණක් ටිකක් වැඩි කාලයක් ඉතිරිවී පසුව පසට එකතුවේ. ඔබ හිස් කබලක් දිහා බැලුවොත් එය ප්‍රියමනාප යැයි නොසිතන්නේනම් එය තාවකාලිකව සමකින් හා කෙස් වලින් වැසූ විට එය ප්‍රියමනාපව අපිට පෙනුනත් එය මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය නාස්තිකර තව වසර කෝටි ගණනක් සසරේ දුක් විඳීම තෝරාගැනීමට තරම්ම ප්‍රියමනාපද? අපි ලස්සන යැයි බැඳෙන අඟ පසඟ වල ඇත්තේද ඌරු මස් කඩයක තිබෙන තෙල් කුට්ටි වැනි තෙල් ගුලියක් තාවකාලික සමකින් වසා ඇති දෙයකි. ඔබ ගඳ ගසන තෙල් කුට්ටියකට අකමැති වුවත් තාවකාලිකව පැහැයක් ගෙන ඇති එහෙත් ඉතා සුළු කළකින් දිරාපත් වන හම් කැබැල්ලට මුවාවී පවතින විට කෝටි ගනන් වසර ගණනක් සසරේ දුක් විඳීම තෝරා ගැනීමට තරම්ම එය ආකර්ශනීයද? 

ඔබ බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගෙවිය යුතු බව මෙයින් කිසිසේත් අදහස් නොකෙරේ. ඔබට රාගික හැඟීමක් පහලවූ විට එවන් හැඟීමක් පහලවූ බව මෙනෙහි කරන්න. ඔබ යෙදෙන ක්‍රියාවලි වල තිබෙන සතුටේ තාවකාලික බව මෙනෙහි කරන්න. ඔබට රාගික හැඟිම් පහලවීමට හේතුවූ රූපයේ ඇති තාවකාලික බව මෙනෙහි කරන්න. එවිට ඔබ එම ක්‍රියාවලියේ යෙදී ඇත්තේ ඒ ගැන නිවැරදි අවබෝධයකින් යුතුවය.


මානය


අපි බොහෝ දෙනෙක් මාන්නය නිසා සසරින් එතෙර වන දොරෙන් බොහෝ ඈත්වී සිටිමු. බලය, සමේ පාට, පවුල් පරම්පරාවල්, සුදුසුකම්, කුලය, නිලය, වස්තුව, පෙනුම, ආදී නොයෙකුත් දේවල් පදනම් කරගෙන අප අන් අයට වඩා උසස් යැයි සිතා සිටිමු. මෙය විශාල පොට වරද්දා ගැනීමකි. අපගේ බාහිර ශරීරය අප නොවන බව තේරුම් ගත යුතුය. එය තාවකාලිකව අපි වසන ස්ථානයක් විනා අප නොවේ.



විශාල ඇතෙක් මත තාවකාලිකව වසා සිටින කුඩා කුරුමිණියෙක් ගැන සිතන්න. ඇතාට සාපේක්ෂව කුරුමිණියාගේ ඇති ඉතා කුඩා කම නිසා ඇතා දෙස බලන අයකුට කුරුමිණියා නොපෙනේ. කුරුමිණියා අපි නම් ඇතා අපි තාවකාලිකව වසන මේ ශරීරය වැනිය. අපි මියයනවා කියන්නේ කුරුමිණියා එම ඇතාගෙන් බැස ගොස් වෙනත් සතකුගේ පිට නැගගන්නවා වැනිය. කුරුමිණියාට ඇතාව මීලඟ භවයට අරගෙන යා නොහැකිය. ඇතාගේ සද්ධන්ත බව නිසා ඌ යනවිට අනික් සතුන් එතනින් ඉඩ දී ඉවත්වේ. ඇතා උසස් කුලයක එකෙක් නම් සමහර විට වන්දනාමාන ලැබීමට ඉඩ ඇත. එවිට කුරුමිණියා සිතන්නේ අනෙක් සතුන් ඌට බයේ ඉඩ දෙනවා කියාය. ගරු නම්බු ලැබෙන්නේ ඌට කියාය. අපි මේ කයට ලැබෙන ගරු නම්බු, තානාන්තර, පට්ටම් අපිට ලැබුණා යැයි වරදවා වටහාගෙන සිටිමු. අපිට ලැබෙන දේවල් නම් අපි මේ කයෙන් නික්ම යනවිට රැගෙන යාමට හැකිවිය යුතුය. අපි මියයනවිට අපේ නම්බුනාම, තනතුරු, ආදිය අපි සමඟ නොයන නමුත් අපි එකතුකරහත් කුසල්, අකුසල්, පින් සහ පව් පමණක් මීලඟ බවයට අරන් ගිය හැකිය. ඇතාට ලැබෙන සැලකිලි තමාට ලැබුණායයි සිතා මුලා වුන කුරුමිණියා මෙන් එම සැලකිලි නිසා අන් අයට අප කරන ලද නින්දා, අවමාන, අනදර, සියල්ල අකුසල් සහ පව් ලෙස රැගෙන යා යුතුය. එසේම ඇතාගේ හැකියාවන්, නම්බුනාම ප්‍රයෝජනයට ගනිමින් අසරණයන්ට පිහිටවීම, දන් දීම, දුප්පතුන්ට අහාර ලබාදීම, නිවාස සදාදීම, වැනි දේ කර ඇත්නම් ඒ දේවල් වලට අදාල කුසල් සහ පින් ඇතා හැර යන අවස්ථාවේ කුරුමිණියාට රැගෙන යා හැකිය.


ඔබ උසස් පවුලක ඉපදී ඇත්නම්, වතුපිටි ඉඩකඩම් හා යාන වාහන ලැබී ඇත්නම් හෝ ඉහල අධ්‍යාපනික සුදුසුකම් ලබා ඇත්නම්, උසස් තනතුරු දරන්නේනම් ඒ සියල්ල අපගේ පෙර පින් නිසා ලැබූ ඒවා බව තේරුම් ගන්න. ඒවා ලැබී ඇත්තේ ඔබට නොව ඔබ තාවකාලිකව ජීවත්වෙන ශරීරයට බවත් තේරුම් ගන්න. සුළු කලකින් ඔබ මේ ශරීරය හැරදා පිටවිය යුතු බව ඔබ හොඳින්ම දනී. එවිට මේ එකක්වත් ඔබ රැගෙන යා නොහැකි බවද ඔබ දනී . ඒවා අනාගත භව වලදී ප්‍රයෝජනයට හැකිවන පරිදි හුවමාරු කර ගැනීමට ඔබ ඥාණවන්ත විය යුතුය. ජපානයට යන පුද්ගලයා එහිදී පාවිච්චි කල හැකි ලෙස රුපියල් දී ඒවා යෙන් වලට හුවමාරු කරගන්නා මෙන් මෙම භවයෙන් පිටවීමට පෙර ඔබේ ඇති හැකියාවන්, දස්කම්, සුදුසුකම්, වත්කම්, සබඳකම්, තානාන්තර හැකිතරම් අනුන්ගේ යහපත වෙනුවෙන් යොදවන්න. එවිට එම ක්‍රියාවලින් ඔබ කුසල් රැස්කරගන්නවා මෙන්ම මතු ප්‍රයෝජනයට පින් ද රැස්කර ගත හැක.


සාරාංශය


සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ පුද්ගලයා මියයාමට මොහොතකට හෝ පෙර සෝවාන් ඵලයට පත්වනු ඇත. එම පුද්ගලයා ඉන්පසු කිසිම දිනක නිරයට නොවැටේ. එම පුද්ගලයා නැවත උපදින්නේ වැඩිම වශයෙන් භවයන් හතකි. එම හතේදී නිර්වාය අවබෝධ කරගන්නා බව ඒකාන්තය.


ඔබ කුමන තරාතිරමක සිටියත්, ඔබ අතින් මොන සිල් පද කැඩුණත්, ඔබ විසින් මුලින්ම සහ වහාම කලයුතු දෙය නම් මෙය නැවත නැවතත් කියවා හෝ මේ මොහොතේම මෙම භවයේම සසරින් එතෙර කරවන සෝවාන් මාර්ගයට ඇතුළුවන බවට දැඩි අධිශ්ඨානයක් ඇතිකර ගැනීමයි.



ඔබට ඇලීම් වැඩි බැවින් සෝවාන් මාර්ගයට අවතීර්ණය වීමට බාධාවක් යැයි නොසිතා සෝවාන් මාර්ගයට ඇතුළුවීමෙන් ක්‍රමක්‍රමයෙන් ඇලීම් අඩුවන බව වටහා ගන්න. එසේම සිල් උත්සාහයෙන් රැකීමෙන් සෝවාන් මාර්ගයට ඇතුළුවීමට නොහැකි බවත් සෝවාන් මාර්ගයට ඇතුළුවීමෙන් නිරුත්සාහයෙන්ම සිල් රැකෙන බවත් වටහා ගන්න.


එයින් පසුව කලයුත්තේ මේ ජීවිතයේ ඔබ බැඳෙන ඇලෙන දේවල් ගැන විමසා බැලීමයි. නොතේරීම නිසා අපි බැඳෙන ඉඩ කඩම්, යාන වාහන ගැන සිතන්න. කලින් විස්තර කර ඇති පරිදි අපි බැඳී ඇත්තේ කිසිම වැඩකට ඇති එමෙන්ම තාවකාලික දේවල් බව ඔබට වැටහෙනු ඇත. එසේ වුවත් හෙටත් ඔබට එවැනි ලෞකික දේවල් වලට ආසාව ඇතිවනු ඇත. එසේ අසාවක් ආ විගස ඒ ඇති තාවකාලික සහ නිස්සාර ගතිය ගැන සිතන්න.



ඔබ රාගයට ඇලී ඇත් දැයි සිතා බලන්න. රාගය ඇතිවන්නේ පුද්ගලයින්ට ඔවුන්ගේ  ප්‍රියමනාප බවට, අඟ පසඟට බව තේරුම් ගන්න. ඒ දේවල් සෑදී ඇත්තේ ජුගුප්සාජනක දේවල් කිහිපයක් එකිනෙක තබා එකිනෙකට මුවා කර තැබීමෙන් බව තේරුම් ගෙන සිතන්න. හෙටත් පෙනුම ඇති අයකු දුටුවහොත් ඔබට රාගික හැඟීම් ඇතිවනු ඇත. එසේ ඇතිවුන විටම ඒ ගැන සිතන්න. රාගික හැඟීමක් ආ බවත් එසේ ආවේ සමකට මුවාවූ තෙල් ගුලියකට, ඇට සැකිල්ලකට බව සිතන්න. ඔබ දන්නා මහලු වැහැරී ගිය පුද්ගලයෙකු ගැන මතකයට ගන්න. අද සුන්දරව ඔබට පෙනෙන පුද්ගලයන්ගේ ඔබ ඇලෙන ඒ සුන්දර බව තාවකාලික දෙයක් බව සිතන්න. ඉතාම කෙටි කලකින් ඔවුනුත් වැහැරී යන හැටි සිතින් මවා ගන්න. ඔබ දකින හැම සුන්දර දෙයක්, සුන්දර පුද්ගලයෙක් ගැනම එම සුන්දර කමේ තාවකාලික බව, නිස්සාර බව 
එම වෙලාවේම ගැන සිතන්න.


ඔබට යම්කිසිවෙකු ගැන තරහවක් ආ විගස හේතුඵලවාදය ගැන සිතන්න. ඔබට වුන පාඩුව, ලැජ්ජාව, අපහාසය ඔබ විසින්ම පෙර භවයකදී කල පවක් පටිසන් දීමක් පමනක්ම බව සිතන්න. ඔබට පාඩුව, ලැජ්ජාව හෝ අපහාසය කල පුද්ගලයාට බැනීමෙන්, ගැසීමෙන් තව පව් පුරවා ගැනීම මෝඩ කමක් බව සිතන්න. කලින් කල පව ගෙවා දැම්මා යැයි සිතන්න. ඔහු හෝ ඇය කලේ ඔබ කල පවක් ගෙවා දැමීමට උදව් වීමක් පමණක් බව සිතා ඔහුට සිතින් ස්තූතිවන්ත වන්න. ඔබට කරදරයක් කරන ලද පුද්ගලයා එම නිසා නීතිය මඟින් හෝ අන් අයුරකින් දුක් විඳීමට සිදුවී ඇත්නම් එයින් ඔහුව මුදවා ගැනීමට ඔබට හැකිනම් වහාම ඉදිරිපත්වී එය කරන්න.


යම් කිසිවෙක් ඔබෙන් යමක් ඉල්ලන්නේනම් ඔබ ගාව එම දේ ඇත්නම් වහාම ඉල්ලන පුද්ගලයාට දෙන්න. ඔබට ඔබ ඉතා කැමති කෑම වර්ගයක් ලැබුනොත් එහි රස නොබලාම එවන් වටිනා කෑම වර්ග ලබා ගැනීමට හැකියාවක් නොමැති අයකුට එය දෙන්න. ඔබගේ බඩගින්න නිවා ගැනීමට සාමාන්‍ය දෙයක් ආහාරයට ගන්න. ඔබට වටිනා හෝ ලස්සන දෙයක් ලැබුණොත් එය දෙන්නේ කාටද යන්න ගැන සිතන්න. හැකි ඉක්මනින් එය එයට කැමති යැයි ඔබට හැඟෙන අයකුට දෙන්න. යම් කිසිවෙක් ඔබේ අත් ඔරලෝසුව වර්ණනා කලොත් එය ගලවා ඔහුට දෙන්න. ඔබ එසේ යමක් යමකුට දුන්නොත් එය අමතක කරදමන්න. ඔහු එය විකුණාගනියි, මම ඔහුගේ ප්‍රෝඩාවකට අහූඋනා යැයි නොසිතන්න. ඔහු ඔබට ප්‍රෝඩාවක් කළොත් එයින් වන පව හෝ අකුසළය ඔහුට මිස ඔබට නොවේ. ඔබත් කැමති දෙයක් වෙන කෙනෙකුට දීමට ඇති ඔබගේ හැකියාව තව දියුණු කරගන්නේ කෙසේදැයි නිතර සිතන්න.


අන් අය ඔබට සහ සමාජයට ඔවුන්ගේ වගකීම් ඉටුකලත් නැතත් ඔබ ඔබගේ වගකීම් සියළු දෙනාටම නොවලහා කරන්න. කුසගින්නේ, වැරහැලි ඇඳගත්, ගෙයක් දොරක් නැති අය ඔබට හමුවන්නේ ඔබට අත් හැරීමේ පුරුද්ද තවත් වැඩිදියුණු කරගැනීමට බව නිතර සිතන්න. එසේ ලැබෙන කිසිම අවස්ථාවක් පැහැර නොහරින්න.


ඔබ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා, අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා, සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව, බුදු දහම ඇතිකාලයක, බුදු දහම් ඇසෙන මානයක ඉපදී ඇති එකම හේතුව මේ භවයේදීම සසරින් එතෙර වන මාර්ගයට පිවිසී හැකිතරම් දුර එම මාර්ගයේ ගමන් කිරීමට පමණක්ම යන කාරණය උදේ ඇහැරුණු මොහොතේත් රෑ නින්දට යන මොහොතේදීත් මතක් කරගන්න.



මෙසේ ජීවත් වීම පුරුද්දක් කරගත් විට ඔබට කවදාවත් අත් නොවිඳි සැහැල්ලුවක් දැනෙනු ඇත. එසේ දැනෙන සැහැල්ලුව සසරේ කවදාවත් ඔබ අත් හැර නොයන සැහැල්ලුවක් බව ඔබට කෙමෙන් තේරුම් යනු ඇත.

කිහිප වරක් කියවීමෙන් වඩාත් හොඳ අවබෝධයක් ලැබෙනු ඇත.


ඔබට මෙයින් යම්කිසි ප්‍රයේජනයක් වූවායැයි සිතන්නේ නම් මෙය බ්ලොග් මඟින්, ඊමේල් මඟින්, ෆේස්බුක් මඟින් අන් අයත් සමඟ බෙදාගන්න. ඔබේ බ්ලොග් එකේ මෙයට ලින්ක් එක දැමීමෙන් ඔබව බලන්න එන අයට මෙතෙන්ට එන්න පාර කියන්න. 

උපුටා ගැනීමට කිසිම කොන්දේසියක් නැති අතර මගේ නම නොයොදා බෙදාගන්නේ නම් වඩා හොඳය. ඔබට මේ පිළිබඳව යමක් පැහැදිලි කර ගැනීමට අවශ්‍යනම් කමෙන්ට් එකක් ලෙස සඳහන් කරන්න

33 comments:

  1. ඔන්න එෆ් බී එකට දැම්මා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්. ඔබ මෙය සම්පූර්ණයෙන් කියෙව්වා යැයි සිතමි.

      Delete
  2. මා අසා ඇති පරිදි ශක්‍ර දේවේන්ද්‍රයා පවා සෝවාන් භාවයට පත් වුණා . ඇයි දිවිය ලෝක වල සිටින අයට සෝවාන් වෙන්න නොහැකි ?

    ReplyDelete
    Replies
    1. මම වටහා ගැණීම නම් දිව්‍ය ලෝක වල සිටින අයට සෝවාන් වෙන්න හරි රහත් වෙන්න හරි ලැබෙන්නේ බුදුවරයෙකු ජීවත්ව සිටින කාලයේදී පමණයි. අනික් කාලවලදී එසේ කිරීමට ඔවුන් මනුස්ස ලෝකයේ ඉපදිය යුතුයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. බ්ලොගර් පලෝවර් ගැජට් එක දාන්න

    ReplyDelete
  4. දිග වැඩියි ලොක්කා.. දෙපාරක් ට්‍රයි කරා කියවන්න.. බාගයක් කියෙව්වා.. මේක කෑලි තුනකටවත් කඩලා දාන්න ඕනි කියවන්න බල කරන්නනම්.. :/ (ඉතුරු ටිකක් කියෝලා මෙතනම් ලියන්නම් හොඳ නරක.)

    අනිත් බ්ලොග් වල ගිහින් කියවල බලල කොමෙන්ට් කරනවා දැක්ක නිසයි ඇවිත් බැලුවේ. එක හොඳ දෙයක්. දිගටම බ්ලොග් වල රැඳී ඉන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
  5. මට වයස අවුරුදු 16/17/18 කාලේ දඩබ්බර නොහික්මුණු කොල්ලෙක් හැටියට ප්‍රසිද්ධව හිටියා. අපේ තාත්තා මාව යොමි කළා ප්‍රසිද්ධියට අකමැති සුසිල්වත් භික්ෂුවක් වෙත. උන්වහන්සේ මට සරලව ධර්ම කරුණු කියාදුන්නා. මා තුළ අද යම් හික්මීමක් ඉතිවී ඇත්නම් ඒ තියෙන්නේ අර ස්වාමීන් වහන්සේ ලබාදුන් ශික්ෂණයයි. නමුත් අවුරු 30 ක් විතර ගතකල හමුදා ජීවිතයෙන් ඒ හික්මීම හීනවී ගියා. දැන් මා නැවතත් ආගමික කටයුතු කෙරෙහි නැඹුරුවී තියනවා.

    අගනා ලිපියක්. මේ අඩවිය මා මගේ බ්ලොග් රෝලටත් දාගත්තා.

    ReplyDelete
  6. ඒක ලිපියකින් නැවතිලා..... දිගට ම ලියන්න.... අපේ සින්ඩියටත් දා ගත්තා...

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  7. ඉයන් ඔබ විස්වාස කරයි ද මන්දා පුංචිම කාලේ ඉඳන්ම මම මේ දේවල් ගැන හිතනවා.. ඒ වගෙම පුංචිම කාලෙත් මට දැනිලා තියනවා මේ කිසිම දෙයක් වැඩක් නැ තේරුමක් නැ කියලා. අප අවට ඇති දේත් දැනෙන හැඟිමුත් හරිම තාවකාලිකයි කියා දැනෙන හිතක් එක්ක දැනට තියන ක්‍රමය ඔස්සේ අධ්‍යාපන රැල්ලේ මං කැමති උනේ නැත්ත මටත් එහෙම යන්න උනා.. නමුත් අවසානයේ මගෙ ජයග්‍රහන බලන්නවත් තාත්තා හිටියෙ නැ.. එයින් මගෙ හිතෙ මේ දිරා යන කයක් ඇතුලේ ජීවත් වන හිත ගැන තවත් හිතන්න මම පෙළබුනා.. ආදරය , විවාහය , සම්බන්ධකම් ගැන මගේ කොහොමත් තියෙන්න සම වයස් අයට වඩා වෙනස් සිතුවිලි .... ජිවිතයේ සැනසුම තියෙන්න මේ එකකවත් නොවෙන බව තමයි මගේ හිත හැමදාම මට කිව්වෙ.. අත්හැරිම තුලයි සැනසීම ලබෙන්නෙ.. නමුත් අප ජීවත් වන සමාජ රාමුවේ අප සිතෙන ලෙසම විශේෂයෙන් ගැහැනු ළමයෙකුට වැඩ කරන්න බැහැ... මොකද ගොඩක් දෙමාපියො දරුවො හදන්නේ තමන් වඩා භෞතිකව ඉහළ යවන්න.. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දාලා දරුවන්ට යන්න පුලුවන් කමකුත් නැ..නමුත් මං පුලුවන් හැමවෙලම උත්සහ කරන්නේ යමකට නොඇලී ජිවිතය විඩිමින් හිත නොරිද්දා මරනය කරා යන්න.

    ReplyDelete
    Replies
    1. ඉයන්, මට පළමු වරට තනියම බස් වල ගමන් යන්න දුන්නේ මට වයස 22 දි විතර.. 23 දි විතර බස් එකෙ පාසල් නිල ඇඳුමින් සිටි පිරිමි ලමයෙක් මගේ අතකින් අල්ලනවා. එදා තමයි මට මුලින්ම ඒ හැඟිම දැනුනු දවස.. ඒත් ඉයන් මට ඒ ලමයට කියවුනේ මේ හමට යටින් තියෙන්න ඇටකටුනේ කියන වචන ටික..කීපවරක් මම යන එන තැ වලට ආපු ඒ ලමය පසුව විදේශ ගත උනා කලින් යොදාගෙන තිබු පරිදි..

      Delete
    2. බොහොම ස්තූතියි චතූ. ඔබට ඉක්මනටම මේ කුණු ගොඩෙන් පිටවෙන්න හැකියාව තිබෙනවා වගේ.

      Delete
  8. බුදු දහම බොහොම පැහැදිළි නිරවුල් දර්මයක් ඒත් කිසිවෙකුත් මාර්ගඵල ලබන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ලලිත් මාර්ග ඵල ලබපු අය ගැන සංගනනයක් කරල නැහැනෙ. ඒක කරන්නත් බැහැ කියලයි මගේ හැඟීම. මම අහල තියෙනව එහෙම අය හිටියත් ඒ අය ඒබව කියන්නෙ නැහැ කියල.

      මෙතෙන්දි ප්‍රයෝජනවත් වෙන්නෙ අනික් අය ලබන නොලබන දේ වලට වඩා අපි එක් එක් කෙනාට ලබා ගන්න පුලුවන් දේ.

      Delete
  9. මට හිතෙන්නෙ ලලිත් මේ තියන ජීවන ක්‍රමය තුල බුදු දහම නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැහැ.. මිනිස්සු මේ විදිහට පිලිපඳින්න ගියොත් දැන් තියන තත්වෙ හැටියට උන් හිටි තැනුත් නැති වෙයි.. බුද්ධාගම අස්සට රිංගල තියන හඳහන් නැකැත් දේවාල අනිත් බාධක..අනිත් එක බුද්ධාගම කියල අපිට උගන්නෙනත් මතු පිට පමණයි.. දැනට තියන වට වඩා හොඳ ජීවිතයක් ලබා ගන්න හැටි තමයි ගොඩක් වෙලාවට දේශනා කරන්නේ, බලන්න ගොඩක් ධර්මදේශන වලදි අහන්න ලැබෙන්නෙ එක එක ජාතක කතාවක් හරි සිදුවිමක් හරි පදනම් කරගෙන මෙහෙම කලොත් මෙහෙම වෙනවා , පින කලාම සැප ලැබෙනව , වගේ ප්‍රකාශ.. එහෙම නැතුව අත්හැරිම පුරුදු කිරීමක් වෙනෙ නැති තරම්.. අත්හැරීමයි මුල..

    ReplyDelete
    Replies
    1. මේ අත්හැරීම පුරුදු කල යුත්තේ ජිවිතේ එපා වෙලා කලකිරිලා නාකි උනාම නෙමේ කියලයි මං හිතන්නේ, එය පුරුදු කිරිම ඇරඹිය යුත්තේ ජීවිතයේ මුල සිට.. උපන්දා පටන්...අත්හැරෙන බව දැනගෙන ජීවත් විමක් බුදුදහමේ කියවෙන්නේ මට තෙරෙන විදිහට..යම්කිසි හැඟිමක් ආවා නම් ආව බව තමන් දත යුතුයි , මනසින් දැක අවබොධයෙන් එමඟ යා යුතුයි අත හැරෙන බවත් සිහියේ තියාගෙන.. අත්හැරීම පුරුදු කරන කෙනා අටලෝදහමින් සැලෙන්නෙ නැහැ

      Delete
    2. තව කරුණක් තමයි මට හිතෙන අපේ හිතේ හැඟිම් ඇති වෙන්න කොහොමද කියන දේ ගැන ඇති නොදැනුවත්කම, අපි අවට කිසිත් නැත්නම් අපෙ හිතේ හැඟිම් ඇති වෙයි ද, එතකොට අපේ හිතේ ඇතිවෙන හැඟිම් ඇත්තටම අයිති කාටද, අපට ද අප අවට තියන දේ වලට ද, කෙනෙකුට පුලුවන් නම් අවට කිසිත් නැ කියලා හිතන්න මනසින් දකින්න ඒ කෙනාගේ හිතේ හැඟිම් මතු වෙයි වේ ද.. මේ හා සම්බන්ධ ලිපියක් මම ලියමින් ඉන්නේ..

      Delete
    3. //මේ අත්හැරීම පුරුදු කල යුත්තේ ජිවිතේ එපා වෙලා කලකිරිලා නාකි උනාම නෙමේ කියලයි මං හිතන්නේ, //
      චතූ හරි මම හිතන්නේ. උදාහරණයකට රාගය නැති කිරීමේ කුසලය ලබා ගන්න ඕන රාගය තියෙනකොට. වයසක් කෙනෙක් වයස නිසා රාගය නැති කොට එය නැති කරගන්න උත්සාහ කරන්න බැහැ. ක්ලේශ තිබෙන අයට තමයි ඒවා නැති කර ගන්න පුලුවන්.

      Delete
    4. හරියට හරි ඉයන්,මට කියන්න ඕන උනු දේ ඉයන් කෙලින්ම කිව්වා.. කොහේ උනත් ආදරය , විරහව, අයිති කර ගැනිම්, හොර ගැනිම්, ගැන නිමක් නැති කතා ඇහෙනකොට මට මේවා මතක් වෙනවා.. මේ කොයි ලොව යන්නේ කියලා...

      Delete
  10. මහණෙනි, කුසල් රැස යැයි
    යමකට කියනු ලබන්නේ නම්
    නිවැරදිව කිව යුත්තේ
    මේ සතර සතිපට්ඨානයන්ටයි.
    මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
    සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

    1, සත්වයාගේ විශුද්ධියට,
    2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
    3, දුක් දොම්නස් අස්තංගත වීමට
    4, ප්‍රඥාව ඉහළ යාමට
    5, නිවන සාක්ශාත් කිරීමට
    “එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

    කවර වූ සතරෙක්ද?

    ___මහණෙනි, යම් මහණෙක්,
    1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

    2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    [කයෙහි වෙනස් වීම්]
    වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

    3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

    4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    [සිතෙහි වෙනස්වීම්]
    දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

    ReplyDelete
    Replies
    1. අතුල මහතාණෙනි. ඔබගේ කමෙන්ට් එකක් මෙහි ලියවීම විශාල ගෞරවයක්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. දිග වැඩි මචෝ .
    දහම් කරුණු උනත් එක දිගට නැතිව ටික ටික දීපන්
    ඇයි දැන් මේක ලියන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඔක්කොම් කියවන්න බැරිනම් කොටස කොටස කියවපන්. එක එක් කෙනාගේ කැපෑසිටි වෙනස් නෙ. කැමති ප්‍රමාණයක් කියවලා ආපහු මතක් වුණොත් පස්සෙ වරෙන්. අමතක වුණොත් ඒ උඹේ ලැබීම.

      Delete
  12. දිග වැඩි මචෝ .
    දහම් කරුණු උනත් එක දිගට නැතිව ටික ටික දීපන්
    ඇයි දැන් මේක ලියන්නේ නැත්තේ

    ReplyDelete
  13. ඔයාගෙම අඩවියේ අලුතින් තිබුණු පෝස්ටුවේ ලින්ක් එක අනුව ඇවිත් ඔන්න ලිපියම කියෙව්වා. හොඳයි. දැනටමත් මේ සමහර කරුණු පිළිපදිනවා. ඒත් මටම වැටහිලයි තියෙන්නේ මගේ සසර ගමන තව ගොඩක් දුර බව! ඒ මගේ කෙලෙස් වැඩි නිසා.

    ReplyDelete
    Replies
    1. Thank you Nimal but read this part again
      නිවන් දැකීමට රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කල යුතුය. අපි අද සිටින රාගය, මෝහය, ද්වේශය බහුල තත්ත්වයේ සිට සහමුලින්ම දුරු කිරීම ඉතාම අපහසු දෙයක් ලෙස පෙනීම ස්වභාවිකය. එසේ දැනීමට ප්‍රධාන හේතුව නම් සෝවාන් මාර්ගයට ඇතුලුවීමට අවශ්‍ය වන්නේ රාගය, මෝහය, ද්වේශය සහමුලින්ම දුරු කිරීම නොව ඒවා දුරු කිරීමේ මගට වැටීම පමණක් බව නොතේරීමයි.

      Delete
  14. ලිපිය මුල සිට අගටම කියෙව්වා. බොහොමයක් කරුණු කාරණා අහලා කියවලා තියෙනවා. සමහර තැන් පැහැදිලි කරගන්න තව දෙතුන් පාරක් කියවන්න ඕන. බොහොම ස්තූතියි පාර කිව්වට. මෙවැනි ලිපි පළ කරනවට බොහොම පින් ඔබතුමාට.

    ReplyDelete